ෆේස්බුක් තහනම ගැන online පැමිණිල්ල
- ජානුවා
- Mar 12, 2018
- 3 min read
ෆේස්බුක් තහනම ගැන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට online පැමිනිලි කරන ලදි. ඔබේ පැමිනිල්ල ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරන්න.. හැකිතාක් මිතුරන් දැනුවත් කරන්න...
E- mail : sechrcsl@gmail.com
නම, අංක :...
මොරටුව 2018.03.12
සභාපතිනි, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව, අංක 14, ආර්, ඒ, ද මැල් මාවත, කොළඹ.
-සමාජ ජාලා හා සන්නිවේදන ජාලා අවහිර කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා ප්‍රාජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් මා හට හිමිකර දී ඇති මූලික මානව අයිතිවාසිකම් කඩකිරීම සම්බන්ධවයි.-
මම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව කටයුතු කරන සහ එහි ඇති මූලික නීතීන්ට යටත් අයිතිවාසිකම් භුක්ති විඳින පුරවැසියෙකු බව ගෞරව බහුමානයෙන් යුතුව පළමුව දන්වා සිටිමි.
එලෙස ගරු කරන්නෙකු වශයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන්වන පරිච්ඡේදයෙන් මා හටත්, ශ්‍රී ලාංකික පුරවැසියන් හටත් හිමිකර දී ඇති මූලික අයිතිවාසිකම් කඩකිරීම සම්බන්ධව මෙම පැමිණිල්ල ඔබ වෙත යොමු කිරීමට දෙවනුව බලාපොරොත්තු වෙමි. පසුගිය සතිය තුළ අන්තගාමී ඉතා සුළු පිරිසක් රටේ ඇති කළ කලබලකාරී වාතාවරණය හේතුවෙන් ඉකුත් 7 වැනිදා සිට මේ මොහොත දක්වා facebook, whatsapp සහ viber යන සමාජ ජාලා වෙබ් අඩවි ඇතුළු තොරතුරු හුවමාරු සන්නිවේදන ජාලා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය විසින් අවහිර කර තිබේ. එමගින් මාගේ සහ මෙරට බහුතර පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් කඩවීමක් සිදුව ඇති බවට මෙයින් පැමිණිලි කරමි.
මෙලෙස සමාජ ජාලා හා සන්නිවේදන ජාලා අවහිර කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන්වන පරිච්ඡේදය ප්‍රකාරව පහත සඳහන් මූලික අයිතිවාසිකම් කඩවී ඇතැයි යන්න මාගේ විශ්වාසයයි.
14 (1) (අ) අනුව සෑම පුරවැසියෙකුටම, භාෂාණයේ නිදහස සහ ප්‍රකාශනය ඇතුළු අදහස් පළකිරීමේ නිදහසද,
(ඉ) අනුව එකලාව හෝ අන් අය හා සමග, ප්‍රසිද්ධියේ හෝ පෞද්ගලිකව, තම ආගම, ලබ්ධිය හෝ විශ්වාසය ඇදහීමෙන්, පිළිපැදීමෙන්, ප්‍රගුණ කිරීමෙන් සහ ඉගැන්වීමෙන් ප්‍රකාශ කිරීමේ නිදහසද,
(ඊ) අනුව, එකලාව හෝ අන් අය හා සමග හෝ ස්වකීය සංස්කෘතිය භුක්ති විඳීමේ හා වැඩි දියුණු කිරීමේ නිදහසට සහ ස්වකීය භාෂාව භාවිතා කිරීමේ නිදහසද,
(උ) අනුව, එකලාව හෝ අන් අය හා සමග යම් නීත්‍යානුකූල රැකියාවක, වෘත්තියක, කර්මාන්තයක, වෙළඳ ව්‍යාපාරයක හෝ ව්‍යවසායක නියුක්ත වීමේ නිදහසද, යන අයිතිවාසිකම් සීමා වී ඇත.
උක්ත සඳහන් මූලික අයිතිවාසිකම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන්වන පරිච්ඡේදයේ 15 වන උප වගන්තිය ප්‍රකාරව රාජ්‍ය ආරක්ෂාව, වාර්ගික හා ආගමික සහයෝගීතාව තහවුරු කිරීම, මහජන කැළඹීම ආදී වූ කාරණා මත පදනම්ව නීතියෙන් නියම කළ හැකි සීමා කිරීම්වලට ලක්කිරීමට හැකිය.
එහෙත් ඉතා සුළු පිරිසක් විසින් රට තුළ ගෙන ගිය නීති විරෝධී හා සාපරාධී කටයුතු සඳහා නීතිය ක්‍රියාත්මක නොකර, මෙලෙස සමාජ ජාලා අවහිර කිරීම මගින් මූලික අයිතිවාසිකම් කඩවීමක් සිදුව ඇති බව මාගේ විශ්වාසයයි. අන්තර්ජාලය හා ඊට සමගාමී facebook සමාජ ජාලය හරහා ශ්‍රී ලාංකික පුරවැසියෙකු ලෙස භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහසට අමතරව, රටට ප්‍රාග්ධනය ලබාදෙන ව්‍යවසායකයකු ලෙස වෙළඳ ප්‍රචාරණ කටයුතු අකර්මන්‍ය වීමට විධායකය ප්‍රමුඛ රජය විසින් පනවා ඇති මෙම වාරණය හේතු වී තිබේ. එමෙන්ම viber හා whatsapp අවහිර කිරීම මගින්ද මාගේ තොරතුරු හුවමාරු කර ගැනීමේ හැකියාවට බාධා පැමිණ තිබේ.
නීතිය රකින, එමෙන්ම රටේ භෞමික අඛණ්ඩතාවට ගරු කරන, රටේ සියලුම ජාතීන් හා ආගම් අතර සහයෝගීතාවට ගරු කරන පුරවැසියෙකු ලෙස අන්තගාමී කොටස් විසින් මෙහෙයවනු ලබන ක්‍රියාවන්ට ඒ අවස්ථාවලදීම නීතිය ක්‍රියාත්මක කර ඒවා වළක්වා නොගැනීමේ විපාකයන්ට මා ඇතුළු නීතිගරුක අතිමහත් සියලුම පුරවැසියන් වන්දි ගෙවිය යුතු නැතැයිද මම තරයේ විශ්වාස කරමි.
එවැනි අනීතික පිරිස් වෙත නීතිය ක්‍රියාත්මක නොකර, ඒවා පළමුව වළක්වා නොගනිමින්, ඒ වෙනුවට සමාජ ජාලා අවහිර කිරීමත්, එය තවදුරටත් පවත්වාගෙන යෑමත් සාධාරණ හෝ යුක්තිගරුක නොවන බවද මම විශ්වාස කරමි. එමෙන්ම තොරතුරු දැනගැනීමේ පනත, මාධ්‍ය නිදහස ලබා දීම හා නීතියේ ආධිපත්‍ය ලබාදීම වැනි ඉදිරිගාමී පියවර ගැනීමට ඉදිරිපත් වූ රජය මෙලෙස පසුගාමීව කටයුතු නොකළ යුතු බවත් මම විශ්වාස කරමි. එම නිසා රජය විසින් සමාජ ජාලා අවහිර කිරීම මඟින් උක්ත සඳහන් අයිතිවාසිකම් හා රටට උපයාගත හැකි ව්‍යවසායකත්වයන් අවහිර කිරීමට එරෙහිව පියවර ගන්නා මෙන් ඉල්ලා සිටින අතර, ඊට වගඋත්තරකරුවන් ලෙස ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා, අගමැතිවරයා, පොලිස්පතිවරයා හා නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යවරයා ඇතුළු වගකිවයුත්තන් නම් කෙරේ.
මීට විශ්වාසී,
Xxxxxxxxxxxxxx 2018.03.12
උපුටා ගැනීමක්

コメント