පළාත් පාලන මැතිවරණ ප්‍රතිපල පසු විපරම..02
- ජානුවා
- Feb 15, 2018
- 2 min read
පළාත් පාලන මැතිවරණ ප්‍රතිපල පසු විපරම..02

2011 පළාත් පාලන මැතිවරණය පැමිණෙන්නේ යුද්ධය දිනා, යුද්ධය දිනන්නට තමන් සමඟ සිටි තමන්ගේම හමුදාපතිවරයා ලක්ෂ 18කින් පරදවා, පාර්ලිමෙන්තු 2/3කේ බලය සහිතව මහින්ද රාජපක්ෂ ආණ්ඩුව එහි උපරිම ජනප්‍රියතාවයේ තිබූ මොහොතකය.. මනාප ක්‍රමය යටතේ ඡන්ද බෙදීයෑමේ සම්භාවිතාව කොට්ඨාශ ක්‍රමයට සාපේක්ෂව අඩු බැවින් බලවත් පක්ෂයට ලැබෙන අමතර වාසියද එදා ආණ්ඩුවට තිබුනි..
එවැනි ඉතාම වාසිදායක තත්වයකදී සම්පූරණ ශ්‍රීලනිප ඇතුළු සන්ධානයමද තොන්ඩමන්ලාද බදියුදීන්ලාද රණවකලාද දිගම්බරම්ලාද සමග එදා බුලත් කොළය ලබා ගන්නා ඡන්ද ප්‍රමාණය ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව වූ 89,46,371 න් 53.89% ක් හෙවත් ඡන්ද 48,21,203 කි..
එදා ජනාධිපතිවරණයට අපේක්ෂකයෙක් ඉදිරිපත් කල නොහැකි මට්ටමක මහ මැතිවරණයෙන්ද අන්ත පරාජයක් ලබා, පාක්ෂිකයන් ඡන්දය දැමීම අතහැර සිටින තත්වයකට වැටී සිටි එජාපය එම මැතිවරණයේදී ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණයෙන් 30.29% ක් හෙවත් ඡන්ද 27,10,222 ක් ලබා ගැනීමට සමත් විය..
2018 වන විට තත්වය සපුරා වෙනස් විය..
මහින්ද කඳවුරට තිබුනේ ඉතා අවාසිදායක තත්වයකි.. ඉහත නම් සදහන් කල එදා සිටි පාර්ශවයන්ගෙන් කිසිවෙකු ඔවුන් සමඟ නැති තත්වයකි.. ශ්‍රීලනිපයේ කොටසක්ද අහිමි වූ තත්වයකය.. රාජ්‍ය බලය තබා විපක්ෂ බලයද බලහත්කාරයෙන් අහිමි කල තත්වයකි.. රාජ්‍ය අනුග්‍රහයෙන් මඩ අවලාද දරුණු ලෙස එල්ලවන තත්වයකි.. ජය ගත හැකිව තිබෙන ආයතන කිහිපයක නාමයෝජනා ප්‍රතික්ශේප වී තිබූ තත්වයකි.. එවැනි පසුබිමක මෙවර ඡන්දයෙන් මහින්ද කඳවුර ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවෙන් 45.46%ක් හෙවත් ඡන්ද 50,313,12ක් ලබා ගැනීමට (ස්වාධීනව තරඟ කල 5ද සමග) සමත් වී තිබේ.. නිල නොවන විධායකය සහ පාර්ලිමෙන්තු බලය සහිත එජාපයට මෙවර ලබා ගැනීමට හැකි වූයේ 2011දී ලබා ගත් ප්‍රතිශතය වූ 30.29%ට මදක් වැඩි 32.63%ක් හෙවත් ඡන්ද 36,12,259ක් පමණි..
කථාව සාරාංශ කලොත්.. මහින්ද රාජපක්ෂ මීලඟ ජාතික මැතිවරණයට පැමිණෙන්නේ තමන් හැර ගිය බොහෝ බළකණුද සමඟය.. ඔහු අද ඉන්නේ සිය දේශපාලන ජීවිතයේ උපරිම ජනප්‍රියත්වයේය.. යුද්ධයෙන් පසුවවත් මේ ජනප්‍රියත්වය ඡන්දයකදී මීට පෙර ඔහුට ලැබී තිබුනේ නැත..
ලියලා තියා ගන්න.. මීලඟ ජනාධිපතිවරණය මහින්ද කඳවුර ජය ගන්නේ වැඩි ඡන්ද විසි ලක්ෂයද ඉක්මවාය.. පාර්ලිමෙන්තු මැතිවරණය ජය ගන්නේ නැවත පහසු 2/3ක බලයද සහිතවය..
මතු සම්බන්දයි.. කලින් කොටස : මහින්ද කඳවුරට තිබුනේ ඉතා අවාසිදායක තත්වයකි..
©️විශ්ව චින්තන
Commentaires